අං කෙළිය

සිංහලෙන් අං ඇදීම හෝ අං කෙළිය ලෙසත්, දෙමළෙන් කොම්බු විලෙයාඩු ලෙසත් හඳුන්වනු ලබන්නේ පත්තිනි-කන්නකී පිදීම පිණිස පවත්වනු ලබන යාතුකර්මීය ක්‍රීඩාවකි. එය පත්තනි-කන්නකී සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ පාළඟ-කෝවලන් කෙකි දෙකක ආධාරයෙන් සපු මලක් (Michelia champaca) කැඩීමට උත්සාහ කළ පත්තිනි-කන්නකීගේ ජීවිතයේ කෙළිදෙලෙන් ගතකළ යුගයක් හා සම්බන්ධ වූවකි. එහිදී ඔවුන්ගේ කෙකි එකිනෙක පැටලුනු අතර ඔවුහු ඒ දෙක දෙපැත්තට අදින්නට පටන් ගත්හ. පත්තිනි-කන්නගී එහි ජයග්‍රාහකයා වූ අතර ඇය එයින් ප්‍රමෝදයට පත්විය. ඇය සිය සේවිකාවන් හා එක්ව අත්පොළසන් දෙමින් නටන්නට පටන්ගත් අතර එය පාළඟ-කෝවලන්ගේ අමනාපයට හේතු විය.

අං කෙළිය සම්බන්ධයෙන් සිලපදිකාරම් හි දැක්වෙන්නේ මේ කථා පුවත හෝ නැගෙනහිර පළාතේ හින්දු භක්තිකයින් විසින් විශ්වාස කරන කථා පුවත හෝ නොවේ. එකී කථා පුවත මෙසේය: “මදුරා පුරය ගිනිතැබීමෙන් පසු විඩා නිවාගනු පිණිස කන්නගී ගං ඉවුරේ හිඳගත්තාය. කෙකි අතින්ගෙන ක්‍රීඩා කරමින් සිටින පිරිමි ගොපලු ළමුන් කණ්ඩායමක් ඇගේ නෙත ගැටුනි (ඔවුන් අතර ක්‍රිෂ්ණාද විය). ඔවුන්ගෙන් ජයග්‍රහණය කළ කණ්ඩායම ගී ගයමින් නටන්නට විය. එදෙස බලාසිටි කන්නගීගේ කෝපය සෙමෙන් තුනීවිය. එතැන්සිට අම්මන්ගේ කෝපාග්නිය තුනී කරනු පිණිස ජූලි-සැප්තැම්බර් උණුසුම්, වියලි මාසවල සෑම වසරකම කොම්බු විලයාඩු පවත්වනු ලැබේ.”

අං කෙළිය සහ කොම්බු විලයාඩු යන දෙකෙහිදීම සිදුවන්නේ පිරිමින් කණ්ඩායම් දෙකක් අතර දෙපැත්තට ඇදීමකි. අං කෙළියේදී කණ්ඩායම් දෙක උඩුපිළ (පාළඟගේ කණ්ඩායම) සහ යටිපිළ (පත්තිනිගේ කණ්ඩායම) ලෙස හැඳින්වෙන අතර මෙහි සම්බන්ධතාවය පීතෘවංශික (පියා හරහා) වේ. කොම්බු විලයාඩු හිදී කෝවලන්ගේ කණ්ඩායම වඩ සේරි (උතුරු කණ්ඩායම) ලෙසින් හැඳින්වෙන අතර කන්නගීගේ කණ්ඩායම තෙන් සේරි (දකුණු කණ්ඩායම) ලෙසින් හැඳින්වේ. නැගෙනහිර පළාතේ දේපල උරුමය සහ කුල සම්බන්ධතාවන් මාතෘ වංශික වුවද මෙහි සම්බන්ධතාවය නිර්මාණය වන්නේ පීතෘ වංශික ලෙසය (සුකුමාර් 2009).

අං කෙළිය පිලිබඳ මුල්ම සඳහන අපට හමුවන්නේ 17 වන සියවසේදී රොබට් නොක්ස් විසින් ලියන ලද An Historical Relation of the Island of Ceylon in the East Indies (1681) කෘතියෙහිය. එය දිවයිනේ උතුරු හා වයඹදිග ප්‍රදේශ හැරුණු විට සෙසු සෑම ප්‍රදේශයකම පැවැති බවට ඔබේසේකර (1984) අනුමාන කරයි. සමහර ප්‍රදේශවලදී ගෝන (Rusa unicolor) අං යොදාගන්නා අතර සමහර ප්‍රදේශයන්හිදී ලී කරු මේ සඳහා යොදාගනු ලැබේ. අවාසනාවකට මෙන් දෙමළ ගම්මානයන්හි එය තවදුරටත් නොපැවැත්වේ. ඒ මිනීමැරුම් දක්වා පවා දුරදිග යන නිරන්තර අඬදබරයන් එම ප්‍රජාවන් තුල පැනනැඟීම හේතුවෙනි (ඔබේසේකර 1984; සුකුමාර් 2009). සිංහලයින් හා දෙමළ ජාතිකයින් අතර අන්තර් විවාහ සබඳතා සම්බන්ධ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන නැගෙනහිර පළාතේ පානම හැරුනුවිට අනෙකුත් සිංහල ගම්මානයන්හිද මෙය අඩු වැඩි වශයෙන් වියැකී යමින් පවතී. (වැඩිදුරටත් බලන්න http://www.lankalibrary.com/rit/ankeli.htm).




Leave a Reply

Your email address will not be published. Required fields are marked *