තම්බිලුවිල් කන්නකි අම්මන් කෝවිලේ (ඔවුන් විශ්වාස කරන්නේ මෙය පැරණිම කෝවිල බවයි) බැතිමතුන් හා ආගමික වතාවත් සිදු කරන්නන් පවසන්නේ ගජබාහු රජු චේර රාජධානියේ පාලකයා වූ සෙන්ගුත්තුවන් රජු ගේ සුපරීක්ෂණය යටතේ නිමවන ලද සඳුන් ලීයෙන් කරවූ කන්නකි පිළිම තුනක් රැගෙන ආ බවත්, ඔහු ඝන වනාන්තරයක් වූ ද නාග ගෝත්‍රිකයන්ගෙන් ජනාවාස වූ ද හෙයින් එකල නාග මුනයි ලෙස හැදින්වූ තිරුක්කෝවිල් තොටුපලට ගොඩබට බවත් ය. ඔහු උරක්කායි (තම්බිලුවිල් වලට සමීපයෙන් පිහිටා ඇත) හි කන්නකි කෝවිලක් ඉදිකරවා එයට එක් පිලිමයක් පූජා කලේ ය. ගජබාහු මෙම ස්ථානය තෝරා ගනු ලැබුවේ ඔහු වනාන්තරයේ ඇවිදින අවස්ථාවේ දී මෙතැන පදුරකින් නැගුනු පරෙවියෙක් ‘කන්නකි, කන්නකි’ කියමින් ඉගිල ගිය නිසා ය. උරක්කායි හි කෝවිල එහි වු පිලිමය ද සමග පසුකාලීනව තම්බිලුවිල් වෙත ගෙන එනු ලැබී ය.
සමහර ශාස්ත්‍රඥයන් තර්ක කරන්නේ, ගජබාහු ලංකාව පුරාම කන්නකි දේවාල ඉදිකිරීමට නියෝග කල බවයි. ඇගේ ඇදහිල්ල, පත්තිනි ඇදහීමේ ආකාරයෙන් හෝ කන්නකි ඇදහීමේ ආකාරයෙන් දිවයින පුරා පැතිරීමේ හේතුව ලෙස ඔවුන් දකින්නේ එයයි (රාසනායගම් 1926;සත්කුනම් 1976). සැබවින්ම, තම්බිලුවිල් උර්සුත්රි කාවියම් දක්වන්නේ මඩකලපු දිස්ත්‍රික්කයේ සෑම ගම්මානයකම කන්නගි අම්මන් කෝවිලක් තිබෙන බවයි (සත්කුනම් 1976; සිත්රම්බලම් 2004). දැනට කන්නකි අම්මන් කෝවිල් 60 කට වඩා නැගෙනහිර පලාතේ ඇත. මෙයින් තිහක් තම්බිලුවිල් උර්සුත්රි කාවියම් (කෙසේ වුවත්, මෙහි දක්වා ඇති පලමු වැන්න ස්ථාන ගත ව ඇත්තේ යාපන අර්ධද්වීපයේ ය) හි දක්වා ඇති අතර අමතර හයක් පට්ටිමඩු උර්සුත්රි කාවියම් හි දක්වා ඇත. මෙම කෝවිල් වලින් බොහොමයක් 18 වන සියවසේ අගභාගයේ හෝ 19 වන සියවසේ මුලභාගයේ ඉදි කෙරී ඇති බව පෙනී යයි (වීරකේසරී, ජුනි 2 2012).
කෙසේ වුවත් ඉහත එකඟතාවයන්ගෙන් බොහොමයකට එරෙහිව ගනනාත් ඔබේසේකර තර්ක කරයි. අපි මෙහිදී ඔහු ගේ, ‘ගජබාහු සහ ගජබාහු සමමුහුර්තකතාව : පුරාවෘත්තය හා ඉතිහාසය අතර සම්බන්ධය පිලිබද විමසීමක්’(1978) යන ලිපියේ විස්තරාත්මක තර්කයන් නැවත සටහන් නොකරන නමුත් එහි අඩංගු වැදගත් කරුණු දෙකක් පමණක් මතු කර දැක්වීමට අපේක්ෂා කරමු.
(1) දිය කැපීම වැනි පැරණි සම්ප්‍රදායක් පත්තිනි දේවතාවිය හා සම්බන්ධ වන්නේ පසුකාලීනව විය යුතු ය. ගජබාහු රජු විසින් පාද සළඹ ලංකාවට ගෙන ඒම ඓතිහාසික කරුණකට වඩා පුරාවෘත්තයක් වීමේ ඉඩ වැඩි ය. එය කඳුරට දකුණු ඉන්දීය ජනාවාස වල පැතිරීම පැහැදිළි කිරීම සදහා පසුකාලීනව ගොතන ලද්දක් විය හැකි ය. රාජාවලිය, ගජබාහු පිලිබද විස්තරය අවසන් කරන්නේ “ගණනය කල නොහැකි තරම් සිරකරුවන් අලුත්කුරුව, සරසිය පත්තුව, යටිනුවර, උඩුනුවර, තුම්පනේ, හේවාහැට, පන්සිය පත්තුව, එගොඩ තිහ සහ මෙගොඩ තිහ යන ප්‍රදේශයන්ට බෙදාහැර පදිංචිවීමට සැලැස් වූ” ආකාරය දක්වමිනි
(2) 4 වන සියවසේ ලියවුණු ඓතිහාසික වංශකතාව වන දීපවංශය හා 5 වන සියවසේ ලියවුණු ඓතිහාසික වංශකතාව වන මහාවංශය (දෙකම පාලි භාෂාවෙන්) ගජබාහු රජු ගැන සදහන් කරන නමුත් සිලප්පදිකාරම් හි දැක්වෙන ඔහු චේර රාජධානියට යන ඉතා වැදගත් ගමන ගැන සඳහන් වන්නේ නැත. එසේම මහාවංශය පත්තිනි ඇදහිල්ලක් ගැන කිසිදු සඳහනක් නොකරීම අඟවන්නේ එය 5 වන සියවසෙන් පසු කාලයක හඳුන්වාදෙනු ලැබූ බවයි. ඒ බව පෙනෙන්නේ රාජරත්නාකරය (16 වන සියවස) සහ රාජාවලිය (17 වන සියවස) වැනි සිංහල භාෂාවෙන් ලියවුණු ඓතිහාසික පඨිතයන් හි එවැනි ඇදහිල්ලක් ගැන සඳහන් වන නිසා ය. එබැවින් වඩාත් සත්‍යරූපී අනුමානය වන්නේ 10 වන සියවසෙන් පසු කාලයක පත්තිනි ඇදහිල්ල කේරලයෙන් පැමිණෙන ජනපදිකයන් විසින් ලංකාවට හඳුන්වා දෙන්නට ඇති බවයි.
ඔබේසේකර ඔහු ගේ පත්තිනි දේවතාවියගේ ඇදහිල්ල (1984) නම් කෘතියේ මෙම තර්කයන් තවදුරටත් ඒකාබද්ධ කරයි. විස්මිත ලෙස, කාලාන්තරයක් පැවති උපකල්පනයන් මෙලෙස නිර්දය ලෙස නිෂ්ප්‍රභකිරීම ශාස්ත්‍රඥයන්, වතාවත් සිදුකරන්නන් සහ බැතිමතුන් විසින් නොසලකා හැර හෝ වටහා නොගෙන තිබේ.