Prev
Next

අං කෙළිය

IMG_3321

දර්ශනීය පානම වෙරළබඩ ගම්මානයේ අං කෙළිය පුරා දින 15 ක් පැවැත්වේ. මේ කාලය පුරාවට සම්පූර්ණ ගම මාංශ ආහාරයෙන් වැලකී සිටින අතර විවිධාකාර වූ තහංචීන් අනුගමනය කෙරේ. ධීවරයින් මුහුදු යාමෙන් වැලකී සිටින අතර සිල්ලර වෙළෙන්දන්ට මේ කාලය තුල සිය වෙළඳසැල්වල කරවල පවා ගබඩාකර තබාගත නොහැකිය. ආසන්න කාලයේ මරණයක්, ඔසප්වීමක් හෝ මෑතකදී දරුවකු ලද කාන්තාවක් (එනම් අපවිත්‍ර යැයි සැලකෙන්නන්) සිටින පවුල් ගම්මානයෙන් පිටවී සිටිනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.

IMG_3594

දේවාල භූමියේ ආරක්ෂක දෙවිවරුන් දෙදෙනා: ශුද්ධ භූමිය තුල තමන්ටම වූ කුඩා දේවාලයන්ට හිමිකම් කියන පත්තිනි දේවාලය ආරක්ෂා කරන පරකාශ දෙවියන් සහ පාළඟ (පානමදී ඔහු අලුත් දෙවියෝ යනුවෙන් හැඳින්වේ) දේවාලය ආරක්ෂා කරන පරකාශ දෙවියන් මෙම දින 15 තුල තහංචි කඩකරන හෝ වැරදි ලෙස හැසිරෙන අයට දඬුවම් දෙති. උනන්දුජනක කාරණය වන්නේ මත්පැන් පානයට අවසර දී ඇති බැවින් ඒවා විශාල වශයෙන් පරිභෝජනය කරනු ලැබෙන නමුත් කුඩු (මත්ද්‍රව්‍ය) දැඩි ලෙස තහනමට ලක්කරනු ලැබ තිබීමයි.

IMG_3594

පළවන සතිය වෙන්වන්නේ සිය වැඩිහිටියන්ගේ සුපරික්ෂාකාරී නිරීක්ෂණය යටතේ අං ඇදීමෙහි සිය හැකියාවන් උරගා බලන තරුණයින් හා පිරිමි ළමයින් වෙනුවෙනි (කොලු අං). ඊළඟට එළැඹෙන දින පහ වැඩි වැදගත්කමක් අත්කර ගන්නේ වයසින් වැඩි, වඩා අත්දැකීම් සහිත පිරිමින් ඊට සහභාගි වන බැවිනි (මහ අං කෙළිය). එක් රාත්‍රියකදී අං 4-5 ක් පමණ අදිනු ලබන අතර අංවල ප්‍රමාණයේ සමානතාවය මෙන්ම අං බැඳීම සහ එකිනෙක හිර කිරීම විශාල කාලයක් ගතවන, එමෙන්ම සමහර විටෙක කණ්ඩායම් දෙක අතර උද්වේගකාරී වචන හුවමාරුවන, එමෙන්ම විටෙක අතින් පහරදීම් දක්වා දුරදිග යා හැකිය. මේ දින 12 පුරාවටම කාන්තාවන්ට රෑ පහන් වන තුරු පැවැත්වෙන මෙම පිරිමි යාතුකර්මයට සහභාගිවීමට තබා එය නැරඹීමට පවා අවසර නොලැබේ. එබැවින් අපට එහි ඡායාරූප ගැනීමට අවස්ථාව නොලැබුනි.

IMG_2525

13 වන දින දේවාලය කාන්තාවන් සඳහා නැවත විවෘත වන අතර පිරිමින් විසින් වලි බානවා යනුවෙන් හැඳින්වෙන ලණු පහත් කිරීමේ යාතුකර්මය සිදුකරනු ලබන අතර එය නැරඹීමට කාන්තාවන්ට අවසර ඇත. අං ඇදීම මෙහිදී සිදුකෙරුනු කාර්යය වන නමුත් මෙහි ප්‍රධාන යාතුකර්මයේ අරමුණ වන පසුගිය දින 12 පුරාවටම සජීවීව පැවැති තරඟකාරී සහ එදිරිවාදී හැඟීම් මකා දමා කණ්ඩායම් දෙක අතර තත්වයේ සමානත්වයක් ඇති කිරීමේ අරමුණින් බැහැර නොවී සිටීමට පිරිමි වගබලා ගනිති. ජයග්‍රාහකයකු හෝ පරාජිතයකු නොමැති බැවින් පසුගිය දින 12 පුරාවට සිදුවූ එදිරිවාදීත්වය හා ග්‍රාම්‍ය හැසිරීම-දෙපැත්ත කැපෙන ලිංගික වචන අන්තර්ගත ගීත ගායනය සහ ජයග්‍රාහී කණ්ඩායම සිය ලිංගික අවයව පරාජික කණ්ඩායම වෙත ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදු නොවන බැවින් මෙම වඩා සංවර ඉදිරිපත් කිරීම/ ප්‍රදර්ශනය කිරීම නැරඹීට කාන්තාවන්ට අවසර ලැබේ.

IMG_2323

අලුත් දෙවියෝ කණ්ඩායමේ, උඩු පිළේ විශේෂඥයින් සහ පත්තිනිගේ කණ්ඩායමේ, යටිපිලේ විශේෂඥයින් විසින් වෙන වෙනම ඊට පෙර සතියේ අන්දර පඳුරකින් (Acacia catechu) උදුරාගනු ලැබූ මුලකින් අඟවල් දෙකක් නිර්මාණය කරති.

IMG_3934

එක් එක් විශේෂඥයා ප්‍රතිවාදී කණ්ඩායමේ උකුසු දෑස් මඟහරිනු පිණිස ගලින් සෑදුනු කුඩා කඳු ගැටයක් මතට නැඟ ගනිති. පළමු අඩි 5-6 ක් දිගු හරස් පොල්ල හෙවත් රිකිල්ල පොල්ල (හල්මිල්ල Berrya cordifolia ගසකින් ලබාගන්නා) කරුව (අඟ) සහ එහි දිගු අක්ෂය (තොඩුව) අතරමැදින් මිල්ල (Bauhinia racemosa) ගසකින් ලබාගත් වැලකින් ගැට ගසනු ලැබේ. මෙම පොල්ලෙන් කරුව චලනය කිරීමේ හැකියාව වැඩි කරවන අතර ලණුවලින් ඇදීමේදී කරුව වෙත එල්ලවන ආතතිය අඩු කරනු ලබයි.

IMG_2387

යම්හෙයකින් අඟ ප්‍රමාණවත් මහතකින් යුතු නොවේ නම් ලණු මඟින් එයට බඳින අතිරේක ලී කැබලි වලින් එය ශක්තිමත් කරනු ලැබේ. මෙය කොට්ට කවනවා යනුවෙන් හැඳින්වේ.

IMG_3053

අවසන් ප්‍රතිඵලය අත්‍යාලංකෘත වන අතරම බෙහෙවින්ම ෆැලිකය!

_MG_2145

සෑම ‘අං ඇදීමකදීම’ප්‍රතිඵලය තම දුබල උර මත දරාගත් වට්ටාන්ඩි කෙනෙකු (යාතුකර්මීය උපස්ථායකයකු) සෑම පිලකම සිටියි. ශුද්ධත්වය පිළිබඳ දැඩි රීති ඔවුන් විසින් අනුගමනය කළයුතු වන අතර ලිංගික ක්‍රියාවන්ගෙන් වැලකීම, යාතුකර්මීය පිරිසිදුකම, ප.ව.5 න් පසුව ආහාර ගැනීමෙන් වැලකීම, මත්පැන් භාවිතයෙන් වැලකීම යනාදිය ඊට ඇතුලත් වේ. යම්හෙයකින් සිය පිළ පරාජයට පත්වුවහොත් මහ හඬින් නැගෙන හූ හඬ සහ අපහාසාත්මක හැසිරීම දරා ගැනීමට සිදුවන්නේද ඔවුන්ටය. කිසියම් එක් වටන්ඩි කෙනෙකුගේ පිළ දිගින් දිගටම පරාජයට පත්වේ නම් එයට හේතුව ඔහු අශුද්ධ වී යැයි විශ්වාස කෙරෙන අතර ඔහු වෙනුවට වෙනත් කෙනෙකු ආදේශ කරනු ලැබේ.

IMG_2521

සරදම් කිරීම් හා අශ්ලීල උපහාසයන් ඉහළ යන විට පරාජිත පිලේ වටන්ඩි එම කණ්ඩායමේ දුම්මල ගෙය වෙත යයි. අනතුරුව ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයින් තුන් දෙනකු දුම්මලගෙයි සිටින වටන්ඩි වෙත ගොස් පහත ආකාරයේ කවි ගායනා කිරීම ඔස්සේ වරදහරවනවා නම් යාතුකර්මය සිදුකරමින් පරාජිතයන්ට අවමන් කිරීම් සහ උසුළු විසුළු කිරීම් නැවත යථා තත්වයට පත්කරගනු ලැබේ.
පළවැනිවත් අවසන් වරටත් අපි හැම වරදක්ව අමතක කර දමමු
කිසිදිනෙක අහිතක් නොසිතන්න

(ඔබේසේකර 1984: 419).

IMG_2856

අං සූදානම් කිරීමෙන් අනතුරුව ඒවා පත්තිනි හා අලුත් දෙවියන්ගේ දේවාල අතර පිහිටි අං හන්දිය වෙත පෙරහැරින් ගෙන එනු ලැබේ. උඩු පිලේ අඟ මුලින් ගෙන එනු ලබන අතර දේවාල පරිශ්‍රය (දේවාල දෙකම ඇතුලත් කරගනිමින්) වටා තුන් වරක් වාමාවර්තව පැදකුණු කරනු ලබන්නේ පත්තිනි අභිමුවේ පළඟගේ පහත් තත්වය සංකේතවත් කරනු පිණිසය (කෙසේනමුත්, ඔහු පිරිමියා වන බැවින් පෙරහැරේ පළමු තැන ඔහුට හිමිවේ!).

IMG_4681

කිසිදු පිළිමයක් පෙරහැරේ ගෙන යනු නොලැබේ. ඒ වෙනුවට දශක ගණනාවකට පෙර අං ඇදීමට යොදා ගන්නා ලද පැරණි අඟකට සවි කරන ලද රිදීයෙන් කැටයම් කරන ලද ද්විමාන දේවතා මුහුණක් බහාලන ලද ලී පෙට්ටියක් ගෙන යනු ලැබේ.

IMG_4136

අලුත් දෙවි දේවාලයේ කපුරාල දේවතා රුව ගෙනයන අතර එගාලි තැනැත්තකු (රෙදි සේදීම සිදුකරන කුලයේ අයෙක්- සිය රැකියාව නිසාවෙන් අපවිත්‍රතාවය දුරුකිරීමට වැදගත් වන්නෙක්) ඔහු පසෙකින් සුදු රෙදි කඩක් රැගෙන ගමන් කරයි. ඇදීමට නියමිත අඟ ඔසවාගත් උඩු පිලේ අයකු අනතුරුව ගමන් කරයි. අඟ වඩවන්නා ලෙසින් ඔහුව හඳුන්වනු ලබයි. උඩු පිලේ සෙසු සාමාජිකයෝ සහ අලුත් දේවාලයේ බස්නායක නිලමේ (ගිහි භාරකරු) ඔහු පසුපසින් ගමන් කරති.

IMG_4673

අනතුරුව යටි පිලේ අඟ දේවාල පරිශ්‍රය වටා (දේවාල දෙකම ඇතුලත් කරගනිමින්) තුන් වරක් දක්ෂිණාවර්තව පැදකුණු කරනු ලැබේ. උඩු පිලේ පෙරහැරේදී සිදුකරනු ලබන කාර්ය පටිපාටිය මෙහිදීද ඒ අනුපිලිවෙලින් සිදුවේ. සියලු ප්‍රධාන සහභාගිකරුවන් සිය මුඛ ආවරණය කරගෙන සිටින්නේ දේවතාව හෝ අඟ ඔවුන්ගේ කෙල හෝ හුස්ම මඟින් අපවිත්‍රවීම වලකනු පිණිසය.

IMG_2701

අං හන්දිය සතුව වැදගත් අංගයන් දෙකක් පවතී. ඉන් පළමුවැන්න වන්නේ අං ගස ලෙස හඳුන්වනු ලබන වනාන්තරයේ වැල් වලින් සකස් කරනු ලැබූ පේරස් වලින් වැරගන්වනු ලැබූ සියඹලා (Tamarindus indica) ගසයි. අං ගස ලණු වලින් බැඳීමේ යාතුකර්මය පේරස් වැක්කිරීම යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙය සිදුවෙද්දී අලුත් දෙවියෝ දේවාලයේ කපුරාල වෙන්ඩායම (කුඩා ප්‍රමාණයේ පා සලඹක් සහිත කණුවක්) හඬවමින් ශුද්ධ ගායනාවන් සිදුකරමින් අලුත් දෙවියන් නැටීම ආරම්භ කරනු ලබයි. අනතුරුව ඔහුට අලුත් දෙවියෝ ආවේශ (දේවාරූඩවීම) වන අතර අනාවැකි කීමට පටන් ගනී.

IMG_2354

දෙවන අංගය වන්නේ අලුත් දෙවියන් නැටීම සමඟ පේරස් මඟින් යාතුකර්මීය ලෙස වැරගන්වනු ලැබූ අඩි තුනක් වූ පලු (Manilkara hexandra) ගස් කඳක් වන හෙන කඳ යි. එහිද කහ වතුර ගල්වා එය මුදුනේ සුදු රෙදි කඩක් ගැටගසනු ලැබේ. හෙන කඳ ගැඹුරු අගලක සිටුවා ලී කොට සහ ඉනි වලින් ශක්තිමත් කරනු ලැබේ. එයට සම්බන්ධ කර ඇති ලණු (වරන්) දෙකින් අදින විට එය අගල තුල ඉදිරියට හා පසුපසට සෙලවේ. හෙන කඳ යොදාගනු ලබන්නේ මහ අං කෙළියේදී පමණි.

IMG_3119

උඩු පිළේ අඟ ලණුවකින් අං ගසට සම්බන්ධ වන අතර යටි පිළේ අඟ ලණුවකින් හෙන කඳට සම්බන්ධ කෙරෙයි. මුල් දින 12 දී මෙන් නොව හාස්‍යකින් තෙරපෙමින් බලවත් නොවන අසභ්‍ය වදන් පවසමින් අං වටන්ඩිලා විසින් අං සිරකිරීම සිදුකරනු ලැබේ.

IMG_3068

පිරිමි ශරීර පොදිය මැද සිදුවන්නේ කුමක්ද යන්න දැකගැනීම පිණිස නරඹන්නෝ සිය ගෙල දිගුකර බලාසිටිති.

IMG_3205

කණ්ඩායම් දෙකටම තෘප්තිමත් වියහැකි මට්ටමින් අං සිරකිරීමෙන් පසුව …

IMG_4334

… සිය ලණු අතට ගෙන ඇදීම පටන් ගන්නා ලෙස උඩු පිල සහ යටි පිලට අයත් සියල්ලන් වෙත නියෝග කරනු ලැබේ (ගම් වැසියන් සියල්ලන්ම කණ්ඩායම් දෙකින් එකකට අයත් වන ලෙස බෙදා ඇත. බෙදීම සිදුවන්නේ පිතෘවංශීය සම්බන්ධය අනුවය).

IMG_4273

ලණු දෙපසට අදිද්දී අං කැඩීයාම වලකනු පිණිස දෙපිලේම අං වටන්ඩීහු පරිශ්‍රම දරති. එක් පිලකට අං වටන්ඩීන් නව දෙනකු පමණ සිටින අතර ඒ සියල්ලන් සතුව විශේෂිත රාජකාරි පවතී. එක් අයකු නිසි පරිදි අඟ අල්ලාගෙන සිටියි. තුන් දෙනකු තොන්ඩුව අල්ලාගෙන සිටිති. තුන් දෙනකු රිකිල්ල පොල්ල එහා මෙහා කිරීම සිදු කරන අතර එක් අයකු උදවුකරුවකු ලෙස කටයුතු කරයි (ඉනි පුදුවට).

IMG_3220-2

යටි පිලේ නොකැඩුණු ජයග්‍රාහී අඟ!

IMG_3061

ඒ හා සමානවම උඩු පිළේ නොකැඩුනු ජයග්‍රාහී අඟ!

IMG_3807

ඊළඟ අවස්ථාව එළැඹෙන්නේ පොලු ගහන ඇත්තෝ ලෙසින් හඳුන්වනු ලබන ලී කෙළි නැට්ටුවන්ට සිය රැඟුම පටන් ගැනීම සඳහාය. බෙරකරු සහ ලී කෙළි විරිඳු කවි ගායනා මධ්‍යයේ ඔවුහු අං හන්දියේ සිය නැටුම පටන් ගැනීම සඳහා දේවාල පරිශ්‍රයේ සියලු දෙවිවරුන්ගෙන් අවසර ගනිති.

IMG_4574

වේගයෙන් කැරකැවෙමින් ඔවුහු නැටුම පටන් ගනිති!

IMG_4037

අනතුරුව නැට්ටුවන් දේවාලය වෙත ගමන් කරන්නේ දේව පෙරහැර/ පත්තිනිගේ රුව රැගත් පෙරහැර ගමේ ගෙවල් වෙත පැමිණෙමින් සිටින බව ගමේ සිටින්නන් වෙත දැනුම්දෙනු පිණිසය. ඔවුන් මරා ඉපදීමේ (පළඟගේ මරණය සහ උත්ථානය) කවි ගායනා කළ බව ඔබේසේකර (1984) සඳහන් කර තිබුණද අප හා සාකච්ඡා කරන ලද සමහර ගම්වැසියන් එම කවි විස්තර කිරීමට කැමැතිවූයේ “පළඟගේ මරණයෙන් වැළපෙන පත්තිනි” ගේ ගායනා ලෙසය. ඔවුන් පවසන පරිදි නැට්ටුවන් ඇඳ සිටින දිගු ගොක්කොළ පටි ශෝකයෙන් කම්පනයට පත්ව සිටින පත්තිනිගේ අවුල්වූ කෙස් කළඹ අනුකරණය කිරීමට දරන උත්සාහයකි. සැඳෑ යාමය දිගහැරෙද්දී නැට්ටුවෝ වැඩි වැඩියෙන් මත්වෙමින් රළු කර්කශ ස්වරූපයක් අත්කර ගනිති.

IMG_4795

වර්තමානයේ පත්තිනි දේවතාවිය පමණක් දේව පෙරහැරේ වඩමවනු ලැබෙන නමුත් පසුගිය දශකයන් තුල දේවතාවන් දෙදෙනාම එහි ගමන් කරන ලදී. ගුණසෝම (1996) ට අනුව මෙම විතැන්වීමට හේතුව අලුත් දෙවියන් බෙහෙවින් බලවත් වන නමුත් ඔහු පහසුවෙන් කෝප ගන්නා බැවින් යම්හෙයකින් ගම්වැසියකු අත්වැරදීමකින් ඔහුව ප්‍රකෝප ගන්වනු ලැබුවහොත් එහි ප්‍රතිඵල දරුණු වියහැකි බැවිනි. අනෙක් අතට පත්තිනි බෙහෙවින් ඉවසන සුළු සැමට කරුණාවෙන් සලකන අයකු වන බැවින් ඇයව ගම වටා ගෙනයාම වඩා ආරක්ෂිත වේ.

IMG_4609

දේවාල පරිශ්‍රයේ සහ මාර්ගයේ පැවැත්වෙන සියලු පෙරහැරවල් හි තරුණ පිරිමි ළමයින් සමූහයක් උද්‍යෝගයෙන් යුතුව ‘දියයියෝ!’ යන හඬින් හුස්ම පිටකරමින් ගමන් කළ අතර ගම්වැසියන්ට අනුව එය දෙමළ බසින් හුස්ම පිටකරමින් කියන ‘අරෝ හරා!’ (සර්වබලධාරී දෙවියනි!) යන්නට සමාන වූවකි. 1960 ගණන් වලදී ඔවුන් ‘හයි හයි හෝ!’ ලෙස ගායනා කළ බව ඔබේසේකර (1984) සඳහන්කර තිබීමත්, ඔවුන් යොදාගත් යෙදුම ‘කියය කියා කියයියෝ!’ යනුවෙන් ගුණසෝම (1996) පැවසීමත් උනන්දු ජනකය.

IMG_4864

උතුරු, නැගෙනහිර, දකුණු සහ බටහිර යන ගමේ සියලු කොටස් සම්බන්ධ වන පරිදි මෙන්ම ගමේ වැදගත් ආයතන හා තැනැත්තන්ද පිළිගැනීමට ලක්කරමින් සුපරික්ෂාවෙන් යුතුව තීරණය කරන ලද මාර්ගයක දේව පෙරහැර ගමන් කරයි. එය පැරණි හා නව පිල්ලෙයාර් හෙවත් ගණ දෙවි කෝවිල්, බෞද්ධ පන්සල, දේවාලයේ සියලු ප්‍රධාන පාර්ශ්වයන්ගේ නිවාස, ප්‍රධාන වෛද්‍ය නිලධාරී වැනි වැදගත් රජයේ නිලධාරීන් මෙන්ම 2011 වසර වන විට පැවතුනු නමුත් 2013 දී අපි නැවත එහි යන විට අත්හැර දමා තිබුණු හමුදා කඳවුර ඉදිරිපිටද නවත්වන ලදී.

IMG_4999

දේවතාවියගේ පැමණීම සඳහා සූදානම් වෙමින් ඇය පිළිගැනීමට සැලසුම් කරන පවුල් සිය නිවාස ශුද්ධ පවිත්‍රකොට දෙවියන්ගේ පන්දලේ ලෙසින් හඳුන්වන අලංකාර ලෙස සරසන ලද පූජාසනයන් ඉදිකරති. පූජාසන ඉදිකරන ලද නිවෙස් ඉදිරියේ පමණක් පෙරහැර නවතනු ලබන නමුත්, ගම්මානයේ පැතිරීම සලකා බැලීමේදී ඊළඟ දිනයේ උදාවට පෙර එකී සියලු නිවාස වෙත යාම කළ නොහැක්කක් බවට පත්වන්නේ එවැනි තේරීමක් පවා ප්‍රායෝගික නොවන බවට පත්කරමිනි. 2011 වසරේදී පෙරහැර නැවත දේවාලයට පැමිණීයේ පෙ.ව 10.30 ට පමණය.

IMG_5046

රතිඥ්ඥා පත්තු කිරීමෙන් සහ පෙරහැරවලදී ශුද්ධ වස්තූන් ආවරණය කිරීමට යොදා ගන්නා පාවාඩ වෙනුවට ආදේශකයක් ලෙස ගේට්ටුවේ සිට පූජාසනය දෙසට ජල ධාරාවක් වත් කිරීම මඟින් සෑම නිවසක්ම පෙරහැර පිළිගනී. පත්තිනි දේවාලයේ කපුරාල පත්තිනි රූපය පූජාසනය මත තබා එය ඉදිරියේ කපුරු දැල්වීම, කහ දියර වත් කිරීම, සුවඳ දුම ඇල්ලීම සහ බුලත් කොළ සහ මල් ඇතිරීම (පවුලේ අය විසින් ලබාදෙන) වැනි වූ විවිධ වූ වතාවත් සිදු කරයි.

IMG_5061

වෙන්ඩායම (කුඩා සළඹක් සහිත පොල්ලක්) රිද්මයානුකූලව පොළවේ වද්දමින් පත්තිනිගේ ගුණ ගයන ගීත (මල් වාද) ගායනා කරනු ලැබේ.

IMG_5000

පවුලේ අය පත්තිනි රුවට වැඳ කහ වතුර සහිත මැටි මුට්ටියකට පඬුරු දමති. පත්තිනි දේවාලයේ කපුරාල කහ වතුරෙන් ඔවුන්ට ආශීර්වාදකොට ඔවුන්ගේ නළලේ සඳුන් ආලේපයකින් සලකුණු තබයි.

IMG_4829

අනතුරුව කපුරාල පූජාසණය මත තබා ඇති තෙල් පහනේ තිරය ගෙන ඒ මතට කහ දියර ස්වල්පයක් වත් කරයි. තිරය නිවී යන අතර නිවසට ආශීර්වාද කරනු පිණිස ඔහු පහත වාක්‍ය කියයි.

එවනෙ දෙවියෝ හෙමේ මහිමා
එවනෙ මල් වැසි වැස්සුවෙමා
මවිත ගගේ වතුර ආවෙමා
මධුරාවෙ ගිනි නිව්වෙ මෙහෙමා
IMG_4123

රාත්‍රිය පුරා පෙරහැර සමඟ ගමන් කරන කුඩා පිරිමි ළමයින්ට මෙය වඩාත් සතුටුදායක අවස්ථාවක් වන්නේ සෑම නිවෙසකින්ම ඉදුනු කෙසෙල් හා දෙළුම් ගෙඩියේ හැඩයට සකස් කරනු ලැබූ මෝතහම්, කැවුම්, මුං කැවුම් හා අතිරස වැනි විවිධ රස කැවිලි සමඟ පැණි බීම වර්ග ගැලුම් ගණනින් ඔවුන් වෙත ලබාදෙනු ලබන බැවිනි.

IMG_4420

පසුදින උදෑසන දේවතාවිය නැවත දේවාල පරිශ්‍රය වෙත ගෙන ඒමෙන් අනතුරුව එය එක්වරම දේවාලය තුලට ගෙන නොයන්නේ ඒ වන විට ගම වටා ගෙන යාමෙන් බෙහෙවින් අපවිත්‍ර වී ඇති බැවිනි. එබැවින් දිය කැපීමේ උත්සවය සඳහා වේලාව පැමිණෙන තුරු එය හෙණ කන්ද පසෙකින් ස්ථානගත කරනු ලැබේ.

IMG_4567

භාවිතයට ගනු ලැබූ රිකිල්ල පොලු යොදාගනිමින් සකස් කරනු ලැබූ ත්‍රිපාදකයක් මත කහ දියර පිරවූ මැටි මුට්ටියක් තබනු ලැබේ. මෙය අං මුක්කාලිය ලෙසින් හැඳින්වේ. අං මුක්කාලිය යටින් මහ අං කෙළියේ සියලු ජයග්‍රාහී අං ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙම වසරේ, 2013 අගෝස්තු මාසයේ උඩු පිළට වඩා ජයග්‍රහණ වැඩි ගණනක් ලබාගැනීමට යටි පිළ සමත් වූ අතර එයින් ගමට යහපතක් වනු ඇතැයි තර්ක කරනු ලැබේ.

_MG_4513

අලුත් දෙවියෝ දේවාලයේ කපුරාල විසින් අලුත් දෙවියෝ පිළිමය ගෙන එන අතර අලුත් දෙවියන් නැටීම ආරම්භ කරයි. ඔහුට දෙවියන් ආරූඬ වූ පසු ඔහු අතට මන්නයක් දෙනු ලබන අතර පැතිරුනු අං ගහට කිහිප වතාවක් කොටන ඔහු එහි පේරස් කපා දමනු ලැබේ. අනතුරුව ඔහු වේගයෙන් හෙණ කඳ වෙත ගොස් එහි පරස්ද කපා දමනු ලැබේ. ඉන් අනතුරුව ඔහු සිහිසුන්ව බිම ඇදවැටෙන අතර කහ වතුර ඔහුගේ මුහුණට ඉසීමෙන් අනතුරුව දෙවියන් විසින් ඔහුව මුදවනු ලැබේ.

IMG_2987

දැන් හෙණ කඳ පහත්කොට අගලෙන් එය ඉවත් කරනු ලැබිය හැක.

IMG_4981

සුදු පිරුවටයකින් එය ආවරණය වී පවතින අතර එහි පෙනුම මළමිනියක් සිහිකැඳවයි.

IMG_5649

මේ දේවල් සිදුවන අතර බෞද්ධ හා හින්දු භක්තික කාන්තාවෝ පානම, කැබිලිත්ත සහ කතරගම පිහිටි සිය පිළිමයන්ට මහත් ගරු සම්මාන ලබන මුරුගන් හෝ ස්කන්ධගේ කූන්තායුධය වන වෙල් මඟින් සිය මුඛය සිදුරු කරගනිති. මෙම මුඛය විදීම මඟින් කථාවෙන් වැලකීමත්, ඒ අනුව දේවතාවිය පිළිබඳ මෙනෙහි කිරීම සඳහා අවධානය යොමු කිරීමත් සංකේතවත් කරයි.

_MG_4350

පිරිමි බැතිමත්හු සිය පිටවල් සිදුරුකර කොකු සවිකරගෙන සිටින අතර ඒවා හොඳින් සවි වී තිබෙනු පිණිස එම කොකුවලට ලණු සම්බන්ධ කර ඇත.

IMG_4664

සිය ශරීරය මෙසේ සිදුරු කළ බොහොමයක් මිනිසුන් හා ගැහැණුන් මොනර පිල් වලින් සරසන ලද බරැති අඩ කවාකාර ලී රාමුවක් සහිත කාවාඩි රැගෙන නර්තනයේ යෙදෙති. මෙම ලී රාමුවට කාවාඩි යන දෙමළ වචනය යෙදීමෙන් ‘සෑම පියවරක් පාසාම වේදනා විඳීම’ යන අර්ථය දනවයි. තම පිටට සවිකරන ලද කොකුවල ආතතිය පවත්වා ගැනීම සහ පොදුවේ ඔහුට හානියක් සිදුවීම වැලැක්වීම සඳහා සිදුරු කරනු ලැබූ සෑම නැට්ටුවෙක් සමඟම ඔහුව ‘බලාගන්නෙක්’ ද ගමන් කරයි.

IMG_4626

සිදුරු කිරීම් නොකරන ලද ලාබාල පිරිමි හා ගැහැණු ළමුන්ද කාවාඩි රැගෙන නර්තනයේ යෙදෙති.

IMG_4645

දේවාල දෙකෙහිම දේවතාවන් මෙන්ම ඔවුන්ගේ ආභරණ සහ හෙල්ල සහ පොරව වැනි අනෙකුත් ආයුධද කාවාඩි නැට්ටුවන් පසුපසින් වීදි ඔස්සේ ගමන් කරන අතර ගම්වැසියෝ පෙරහැර කහ දියරෙන් නහවමින් පඬුරු පිදීම සහ සිසිල් පැනින් සංග්‍රහ කිරීම සිදු කරති.

IMG_4745

අනතුරුව පෙරහැර වැලි පර හරහා ගමන් කරමින් මුහුදු වෙරළට ගමන් කරන අතර මුළු ගමම එය පසුපස ඇදී එති.

IMG_5864

දේවතාවන් දෙදෙනාටම මඩ (මඩෙයි නම් දෙමළ වචනයේ වෙනස් කරන ලද්දක්) පූජා කරනු ලබන අතර ඔවුන්ගේ සියලු ආභරණ සහ ආයුධ චාරිත්‍රානුකූලව මුහුදේ ‘ස්නානය කරවා’ දිය කැපීම සිදු කරනු ලැබේ.

IMG_5921

අපගේ ඉහිහාසය කොටස්දී සඳහන් කරන ලද ආකාරයට දිය කැපීම ගජබාහු රජු සිය යගදාවෙන් මුහුද දෙබෑ කිරීම පිළිබඳ රාජාවලියේ දැක්වෙන ආඛ්‍යානය සිහිගන්වයි. ලී යදාවෙන් මුහුදට ගැසූවිට දෙබෑවන ජලය වට්ටාන්ඩීන් දෙදෙනා විසින් මැටි මංජුසා දෙකකට එකතු කරගනු ලබන අතර ඔවුන් විසින් ඒවා තම දේවාලයන් වෙත ගෙනගොස් ඊළඟ වසරේ අං කෙළිය වනතුරු සිය දේවාලයන් තුල ගබඩාකර තබති. බොහොමයක් බැතිමතුන්ද මෙම වතුර එක්රැස් කරගැනීම සඳහා විවිධාකාර භාජන රැගෙන එති.

IMG_5923

යාතුකර්මීය මෙවලම් ස්නානය කරවා දිය කැපීම සිදුකළ වහාම දේවාලයේ නිලධාරීහු සිදුරු කිරීම සිදුකළ තැනැත්තන් හා ඔවුන්ගේ ඥාතීන් නැවත වහා දේවාලය වෙත යන අතර …

IMG_4864

ගමේ සෙසු තරුණ පිරිමි වහා මුහුදු දියට පනිති. දිය කෙළිය, එසේත් නැතිනම් ටෙස්ටොස්ටෙරෝන් පිටාර ගැලීම (!) විසින් කාවේරි නදියේ ගමන් කරමින් සිටි වෙළඳ කුමාරවරුන්ට පත්තිනි හමුවීමේ සිදුවීම හෝ කරිකාල විසින් කාවේරි ව්යාපෘතිය සම්පූර්ණ කිරීම (ඔබේසේකර 1984: 393) අනුස්මරනය කරවයි.

IMG_3806

දියකැපීම සහ දිය කෙලිය විසින් බොහොමයක් ගම්වැසියන් දින 15ක අං කෙලියේ අවසානය සලකුණු කරන අතර වඩාත් දැඩි භක්තිමතුන් දේවාල දෙක විසින් සිදු ලබන පැණිරස කිරිබත් දානය සඳහා සහභාගිවීමටත්, දේවාලය අසල ඇති වාරි ඇළ වෙත හෙන කඳ ගෙන ඒමටත් (ඊළඟ වසරේ මහ අං කෙලිය තෙක් එය එහි තැබේ), දේවාල දෙකේ දොරටු වසා දෑමීම සඳහාත් (ඒවා නැවත විවෘත කරනු බලන්නේ සතියකට පසුවය) දේවාලය වෙත නැවත පැමිණෙති.