IMG_6582


දේවතාවිය යැදීම : ශ්‍රී ලංකාව තුල පත්තිනි-කන්නකි ඇදහීම

දේවතාවිය සුළඟින් ද වලාකුලින් ද අහසින් ද බැස එයි
ඇගේ දිව්‍යමය දෑසින් ඇය ලංකාවේ දුක්දොම්නස් දෙස බලයි1

කන්නකි-පත්තිනි ඇදහිල්ල, ශ්‍රී ලංකාව තුල හින්දු-බෞද්ධ සංකලනය පිළිබඳ හිත්කාවදින සුළු උදාහරණයකි. පූජා යාතුකර්ම හා භාවිතයන් ආගම් දෙක අතර හා ප්‍රාදේශීයව විවිධ වන්නා වූ නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙමළ හින්දූන් හා සිංහල බෞද්ධයන්ගේ ගෞරවයට දේවතාවිය පාත්‍ර වී ඇත. උත්ප්‍රාසාත්මක ලෙස, ලාංකිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇය පොදු දේවතාවියක බව නොදැනීම මෙම කුඩා දූපත් රාජ්‍යයේ සිටින ප්‍රධාන ජනවාර්ගික කන්ඩායම් දෙක අතර ඇති පරාරෝපනයේ  ප්‍රමාණය පිළිබඳ සංඥාවක් ලෙස සැලකිය හැකි ය. දෙමළ හින්දූන් ඈ කන්නකි ලෙස දන්නා අතර සිංහල බෞද්ධයන් ඈ ගැන දන්නේ පත්තිනි ලෙසයි.

පත්තිනි -කන්නකි යනු ස්ත්‍රීභාවය පිළිබඳ සංකීර්ණ හා මනස්කාන්ත උදාහරණයකි. එක් අතකින් ඇය ඇගේ ස්වාමි පුරුෂයා වන කෝවලන්ගේ ද්‍රෝහී කම් හා පාවාදීම් තිබිය දී ද ඇය ඔහුගේ පාරිශුද්ධ හා විශ්වාසවන්ත භාර්යාව ලෙස සිටියි. නමුත් අනෙක් අතට ඇයට වූ අයුක්තියට වන්දියක් වශයෙන්, සිය වම් පියයුර ඉරා ඉන් සමස්ත නගරයක් ගිනි තබන සාහසික සහ පළිගන්නා සුළු වැන්දඹුව ද ඇයයි.

දශක තුනක සිවිල් යුද්ධයෙන් ශ්‍රී ලංකාව සෙමෙන් ගොඩඑමින් සිටින සහ ජයග්‍රාහී සිංහලුන් හා පරාජිත දෙමළුන් වශයෙන් දෙකට බෙදුනු සමාජ නිර්මිතය එකට බැදීමට උත්සාහ කරමින් සිටින සන්දර්භයක් තුල බෞද්ධයන්ගේ හා හින්දූන්ගේ ද සිංහලුන්ගේ හා දෙමළුන්ගේ ද පොදු ඉතිහාසය හා සම්ප්‍රදායන් ආවර්ජනය කිරීම කාලානුරූපී ය. වැලපෙන එසේම සුවපත් වන එමෙන්ම දඩුවම් දෙන නමුත් ජන සමූහයාට පිහිට වන කන්නකි-පත්තිනි යනු දැන් ජනගහනයෙන් විශාල අනුපාතයක් වන බොහෝ යුධ වැන්දඹුවන්ට හා ස්ත්‍රී ගෘහමූලික පවුල් වලට බලාපොරොත්තුවේ සංකේතයකි. සුනාමිය රැගෙන යන තෙක් පරිකල්පනය කල නොහැකි තරම් වේදනාවන් විඳි මඩකලපුවේ රාජේශ්වරී ගැන මැරිලින් ක්‍රිසාල් ලියූ කෙටිකතාව මෙම බලාපොරොත්තුව හෘදයාංගම ලෙස සුසම්බන්ධ කරයි http://www.guernicamag.com/features/fire_inside/.

ඇදහීම සහ සංකලනය පිළිබඳ අදහස්, විශ්වාසයන් සහ මතවාද හුවමාරු කර ගත හැකි, සාකච්ඡා කල හැකි සහ වාද කල හැකි අවකාශයක් සැපයීමට උත්සාහ කරන අතරම ඇදහීමේ, බලාපොරොත්තුවේ සහ සුවපත් වීමේ මෙම සංකීර්ණ තලයන් ඉස්මතු කිරීමට මෙම ත්‍රෛයි භාෂික වෙබ් අඩවිය අපේක්ෂා කරයි.


1Gananath Obeyesekere, The Cult of the Goddess Pattini (Chicago: 1984) හි දක්වා ඇති පහන් පූජාවෙන් උපුටා ගන්නා ලදි.