Prev
Next

පංගුනි තිංගල්

IMG_6375

පංගුනි මාසය උතුරු අර්ධද්වීපයේ වඩාත්ම උණුසුම් කාලය කැටුව පැමිණෙන බැවින් මෙම සුභ සඳුදාවන් හතරේදී මූලික අවධානය යොමු කෙරෙන්නේ අරිසි කන්ජි (සහල් කැඳ) හෝ පාල් කන්ජි (කිරි කැඳ) වැනි ශීතකාරක ආහාර, පොංගල් හා විවිධ රසකැවිලි පූජාකිරීම මඟින් අම්මන් දේවතාවිය සතුටු කිරීම කෙරහිය. ඉර උදාව සමඟ කාන්තාවන් කිහිප දෙනෙක් කලෙයියොඩෙයි කන්නගී අම්මන් කෝවිලේ එක්රැස්ව කෝවිල ඉදිරිපිට පොංගල් ඉවීම පටන්ගන්නේ දේවතාවිය සමඟ ඒකාත්මික වෙමිනි.

IMG_6471

පොංගල් යන දෙමළ වචනයේ තේරුම ‘නැටවීම’ හෝ ‘ඉතිරවීම’ යන්න වන අතර එකී යාතුකර්මය සිදුකරන්නන් වෙත එමඟින් සෞභාග්‍යය සහ සශ්‍රීකත්වය උදාවන බව සංකේතවත් කරයි.

IMG_9124

එමෙන්ම පංගුනි තිංගල් හි දී යාතුකර්මීය ලෙස පිළියෙල කොට ආහාරයට ගනු ලබන පැණි රසැති සහලින් සකසන ආහාරයටද පොංගල් යන නම භාවිතා වේ. සහල් හා පොල් කිරි හැරුණු විට මුං ඇට, හකුරු, කරඳමුංගු, කරාබුනැටි, වියළි මුද්දරප්පලම් සහ කජු පොංගල් සඳහා එක් කරනු ලැබේ.

IMG_6354

ස්වාමිපුරුෂයා විසින් පළමු රතු සහල් හැඳි තුන චාරිත්‍රමය ලෙස රත්වන වතුරට දමනු ලැබේ.

IMG_6354

විවෘත ලිප ඉදිරියේ හිඳිමින් අඛණ්ඩව භාජනය හැඳි ගෑමේ අසීරු කාර්යය සිදුකරනු ලබන්නේ බිරිඳ විසිනි.

IMG_6507

බත ඉදෙන විට පොල් කිරි එයට එකතු කරනු ලැබේ.

IMG_6395

පොල් කටු හැන්දකින් වේගවත් ලෙස හැඳිගාමින් එම පොල් බත සමඟ හොඳින් මිශ්‍ර කරනු ලබයි.

IMG_6400

පොල් (Cocos nucifera) මලෙහි යුෂ හෝ තල් (Borassus flabellifer) මලෙහි යුෂ යොදාගෙන සකසනු ලබූ හකුරු (සක්කරෙයි) කැබලි එයට එක් කරනු ලැබේ.

_MG_6551

හකුරු දිය වන තුරු නටන බත හැඳි ගානු ලැබේ.

IMG_6556

මීට පෙර විශාල මැටි මුට්ටිවල පොංගල් පිසින ලද නමුත් බොහොමයක් කාන්තාවන් මේ වන විට ඇලුමිනියම් මුට්ටි යොදා ගැනීමට පෙළඹී ඇත. නමුත් තවදුරටත් ඒවා පිළිගැන්වීම සඳහා ඔවුහු කෙසෙල් කොළ භාවිතා කරති. පොංගල් වලින් කොටසක් කන්නගී අම්මන් දේවතාවිය වෙත පිළිගන්වනු ලබන අතර ඉතිරිය නිවෙස් වෙත ගෙනගොස් පවුලේ අය සහ අසල්වාසීන් සමඟ බෙදාගනු ලැබේ.

IMG_5567

මට්ටුවිල් හි සුප්‍රකට පන්රිතලච්චි කන්නගී අම්මන් කෝවිල මහා පරිමාණයෙන් පන්ගුනි තිංගල් සමරනු ලබයි (එම කෝවිලට නම ලැබුණේ කෙසේද යන්න සඳහා කෝවිල් සහ දේවාල ඡායාරූප විස්තරය බලන්න).

IMG_7028

හැඳිගෑම, හැළීම, කැපීම, තැම්බීම හා බැදීම යනාදී විවිධ කාර්යයන් සිදුකරන අතර එකිනෙකාගේ වත ගොත කථාබස් කරන කාන්තාවන්ගෙන් කෝවිල් බිම ගැවස ගනී.

IMG_6810

පංගුනි තිංගල් කාලයේ කෝවිල් භූමය තුල සකසනු ලබන එක් ජනප්‍රිය රස කැවිලි වර්ගයකි, මෝතහම්. මෝතහම් යනු ගනේෂ් දෙවියන්ගේ (පිල්ලෙයාර් සහ විනයාකර් යන නම්වලින්ද හැඳින්වේ) ප්‍රියතම ආහාරය වන අතර ඔහුගේ බොහොමයක් රූපවල එම මිහිරි රසැති ආහාරය අතැතිව සිටිනු නිරූපනය කෙරෙයි. අගෝස්තු/සැප්තැම්බර් කාලයේ යෙදෙන ගනේෂ් ගේ උපත හා පුනරුත්පත්තිය සමරනු පිණිස- විනායයහර් චතුර්ති (ගනේෂ් උත්සවය)- මෙම රසකැවිලි වර්ගය බටහිර හා දකුණු ඉන්දියාවේද සකස් කරනු ලැබේ. මෙහිදී ඔබට දැකගත හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ ඒ සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය හා ඒවායේ හැඩයන් සුළු වශයෙන් වෙනස් වේ: http://www.sharmispassions.com/2010/09/mothagam-pooranam-kozhukattai-for.html

IMG_6829

පළමුව ඉරෙයි හෙවත් මෝතහම් පිරවුම සකසාගනු ලැබේ. මුං ඇට තම්බා, පොල් ගා හකුරු (සක්කරෙයි) කුඩා කැබලි වලට කඩාගනු ලැබේ.

IMG_6977

ඉරෙයි සඳහා එහි සුවිශේෂී වර්ණය ලබාදෙන්නේ හකුරු මඟිනි.

IMG_6840

සහල් හා තිරිඟු පිටි සමාන ප්‍රමාණවලින් ජලය සමඟ එක්කොට බෝල ලෙස මෝලිය සකස් කරගනු ලැබේ. අනතුරුව මෝලි බෝල නොගැඹුරු කෝප්ප හැඩයට සකසාගනු ලැබේ.

IMG_7120

දැන් මෙම නොගැඹුරු කෝප්ප හැඩැති මෝලිය තුලට පිරවුම ඇතුල් කරනු ලබයි.

IMG_7116

කෝප්පයකම කට ළඟට එනතුරු ඉරෙයි වලින් පුරවනු ලබයි.

IMG_7122

අනතුරුව මෝලියෙන් තැනූ ඉරෙයි වලින් පුරවනු ලැබූ කෝප්පයේ කට පරෙස්සමින් මෝලියෙන්ම වසනු ලැබේ.

IMG_7128

අපට පානමදී හමුවූවාක් මෙන් මෝතහම් මදුලම් (දෙළුම්- Punica granatum) ගෙඩියක හැඩයට සකසාගනු ලැබේ (අං කෙළිය ඡායාරූප විස්තරය බලන්න). ඒවා හුමාලයෙන් තම්බා ගැනීමෙන් හෝ බැද ගැනීමෙන් පසු ආහාරයට ගත හැකිය.

IMG_7119

මෙම දිනයේදී සමහර සේවරි රසැති සුළු ආහාරද පිළියෙල කොට භුක්ති විඳිනු ලැබේ. බදින තෙල් භාජනයෙන් පිටතට ගෙන කෙලින්ම ආහාරයට ගතහැකි උළුදු වඩෙයි විශේෂ රසයකින් යුතුය. මෙම ඩෝනට් හැඩැති ප්‍රණීත ආහාරය උළුදු (පොතු ඉවත් කරන ලද කලු කඩල) පිටි, තෙලේ බැදගත් ලූණු, අමු මිරිස් සහ කරපිංචා එක්කොට සාදාගනු ලැබේ. වඩය ඇතුලත එක්රැස් වන වාෂ්පය මඟින් අතිරික්ත තෙල් එයින් ඉවත් කරන බැවින් එය බෙහෙවින් තෙල් සහිත වනු වෙනුවට ක්‍රිස්පි රසක් ගනී.

IMG_6888

බැතිමතුන්ගේ රසදිව පිනවීම පිණිස බොහොමයක් වෙළෙන්දෝ තාවකාලික කඩ ඉදිකරති.

IMG_7020

මේ නුවණැති කාන්තාව කුඩය ආවණයක් ලෙස යොදාගෙන ඇති අයුරු.

IMG_7078

රටකජු සහ පොරි කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් අතරද එකසේ ජනප්‍රිය ය.

IMG_7056

පන්රිතලච්චි කන්නගී අම්මන් කෝවිල බ්රාහ්මණ පූජකයින් (අයියර්) විසින් පමණක් කෝවිල තුල ආගමික පුද පූජා පවත්වන ආගමික (කෝවිල් ගෘහනිර්මාණය සහ යාතුකර්ම සිදුකිරීම සඳහා වන සංස්කෘත ආගමික ලියවිලි වලට අනුකූල) පූජ්‍යස්ථානයක් වන බැවින් අපට එතුල ඡායාරූප ගැනීමට අවසර නොලැබුණි. වාසනාවකට මෙන් මධ්‍යාහ්න පූජාව (යාතුකර්මය) අවසන් වූ පසු වසන්ත මන්ඩපම් (සියලු ප්‍රතිමා කෝවිලෙන් පිටතට ගෙන ගොස් ප්‍රදර්ශනය කළ හැකි ගර්භය) හි කන්නගී අම්මන් පිළිරුව පෙරහැරින් කෝවිල වටා ගෙන යන ලදී.

IMG_7168

සිංහයා කන්නගී අම්මන්ගේ වාහනය වේ. එය ඇය දුර්ගා, කාලි සහ මාරිඅම්මන් යන දේවතාවියන් සමඟ බෙදා ගන්නකි. මෙම කෝවිල තුලට ඇතුලු වීමට පෙර සියලු පිරිමින් සිය කමිස ගැලවිය යුතු අතර කෝවිල වටා පෙරහැර පැවැත්වෙන අවස්ථාවන්හිදී ද එසේ කළයුතු වේ. පිරිමින් සිය කමිස ඉවත් කරන්නේ දේවතාවිය වෙත ඇති සිය ගරුත්වය පෙන්වීම පිණිසය. මසන ලද සෑම ඇඳුමක්ම අපිරිසිදු යැයි සමහරු විශ්වාස කරන අතර ඔවුහු ඉනෙන් ඉහල සිය ඇඳුම් ඉවත්කර වේස්ටි- ශරීරයේ ඉනෙන් පහල කොටස ආවරනය කිරීම සඳහා ඉන වටා අඳින මැහුම් රහිත රෙද්දක් අඳිති.

IMG_7135

නාඩස්වරම් වාදකයින් දෙදෙනෙක් පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කරති. නාඩස්වරම්, මංගලම් වාද්‍යයම් (සුභ වාදන භාණ්ඩ) පවුලට අයත් වාදක භාණ්ඩයක් වන අතර ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ විවිධ හින්දු යාතුකර්මයන්හි දී එය වාදනය කරනු ලැබේ. ශක්තිමත් ලීයෙන් නිමවා ඇති එයට ඉපියන් දෙදෙනකු ඇති අතර එහි කෙලවර විශාල හඬක් නඟන ලෝහ සීනුවක් ඇත. සාමාන්යයෙන් එය යුගල වශයෙන් වාදනය කෙරෙන අතර ලෝකයේ විශාලම ශබ්දයක් නිකුත් කරන පිත්තල නොවන සුෂිර වාදක භාණ්ඩය ලෙස සැලකෙයි.

IMG_7311

නාඩස්වරම් වාදනය කරනු ලැබූයේ කොස් (Artocarpus heterophyllus) ලීයෙන් සාදා එළු සමින් ආවරණය කර ඇති බැරල් හැඩැති බෙරයක් වන තවිල් බෙරය සමඟිනි. බෙරයේ විශාල මුහුණතට වළලුකර හා ඇඟිලි වලින් තට්ටු කිරීමෙන්ද, කුඩා මුහුණතට පුඅරසු (සූරිය- Thespesia populnea) කෝටුවකින් ගැසීමෙන්ද එය වාදය කරනු ලබයි. සාමාන්‍යයෙන් මෙය වාදනය කරන්නෝ සහල් හෝ තිරිඟු පිටියෙන් සාදන ලද ඝනැති මැලියමකින් සාදන ලද ඇඟිලි ආවරණ පළඳිති.

IMG_7284

නාඩස්වරම් සහ තවිල් බෙරය ශ්‍රී ලංකාවේ කන්නගී අම්මන් මෙන්ම අනෙකුත් දේවතාවන් වෙනුවෙන් පවත්වනු ලබන බොහොමයක් පෙරහැරවල සහ යාතුකර්මයන්හි අනිවාර්ය අංගයක් වේ.

IMG_7199

පෙරහැර සෙමෙන් කෝවිල වටා පැදකුණු කරන අතර බොහෝ කාන්තාවෝ කාර්පුරම් චට්ටි- වෙම්බු (කොහොඹ-Azadirachta indica) පත්‍ර මත තැබූ මැටි භාජනවල දැල්වූ කපුරු පූජා කරති.

IMG_7161

පෙරහැර පසුපස යන සමහර කාන්තාවෝ තාලම්පට වාදනය කරමින් කන්නගී අම්මන් වෙනුවෙන් බජන් ගායනා කරති. කණ්ඩායමේ නායිකාව ශ්ලෝකයක් ගායනා කරන අතර සෙසු අය ඇය අනුව යමින් එය ගායනා කරති.

IMG_7249

මෙම තැනැත්තා සුවිශේෂී බැතියක් සහිත බැතිමතෙකි. සිය මුළු සිරුර පුරා දැල්වෙන අඟුරු කබලේ අළු ආලේප කරගැනීමෙන් පසු ඔහු දේවතාවිය ඉදිරියේ බිම පෙරළෙමින් වක්වූ ලෝහ මුගුරකින් තමන්ටම පහර දී ගනිමින් අරෝ හරා (සර්ව බලධාරී දෙවියනි) යනුවෙන් උස් හඬින් ප්‍රමෝදයෙන් බෙරිහන්දුනි.

IMG_7275

පන්ගුනි මාසයේ අවසන් තිංගල් දිනයේදී බැතිමතුන් තූක්කු කාවාඩි ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන වැඩියෙන් තමාට වධ දී ගන්නා ක්‍රියාවෙහි නිරත වෙති. උදාහරණ සඳහා බලන්න: http://www.youtube.com/watch?v=-pteF2_PZuw සහ http://www.youtube.com/watch?v=hhH3pXBuh3I තූක්කු යන්නෙහි තේරුම ‘එල්ලෙන’ යන්න වන අතර අද දවසේ සිදුකෙරෙන ආකාරයට ට්‍රැක්ටරයක් මත ඉදි කරන ලද ලී අට්ටාලයක එල්ලීම ඇතුළු විවිධාකාරයේ එල්ලීම් පවතී. මෙම youtube වීඩියෝවන්හි එකී ආකාරයන් දෙකක් (පිටට සවිකරන ලද කොකු එකක් හෝ දෙකකින් තිරස් ලෙස එල්ලීම හෙවත් තුල්ලා සහ කූන්තයන්ගෙන් සිදුරු කරනු ලැබ කුරුල්ලකු මෙන් සිරස් ලෙස එල්ලීම හෙවත් පරවෙයි) නිරූපණය කෙරේ. වට්රප්පලෙයි සහ සැමටම අම්මන්! යන ඡායාරූප විස්තරයන් හිදී මෙම ස්වරූපයේ භක්තිය පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කෙරෙනු ඇත.